ණය වලින් හිර වෙලාද Smart විදියට Loan එකෙන් ගොඩ යන්නෙ කොහොමද ?


1. ණය ගණනය කරන්න

මේ 2021 අවුරුද්ද ඉවර වෙන්නත් තව තියෙන්නෙ මාස 5 කටත් අඩු කාලයක්නෙ. ඉතින් ඔන්න මේ ණය කන්දරාව අඩු කරගෙන මිසක් 2022 ට පය තියන්නේ නැහැ කියල ඉන්තේරුවෙන්ම හිතාගෙන පෑනකුයි නෝට් බුක් එකකුයි අරගෙන පැත්තකින් වාඩිවෙන්න. දැන් කල්පනා කරන්න තමන් ණයවෙලා තියෙන්නෙ මොන මොන තැන් වලටද, ඒ ණය වෙන වෙනම කීයද, පොලිය කීයද, ඔක්කොම එකතු කළහම අද වෙද්දි ගෙවන්න තියෙන්නෙ කීයද කියලා. බැංකු වලට වුණ ලොකු ලොකු ණය අස්සෙ ඔය අතමාරුවට යාලුවන්ගෙන් ඉල්ලගත්ත පොඩි පොඩි ණයත් අමතක කරන්න එපා. ඔය ඔක්කෝම වෙන වෙනමම ලේසි විදිහකට අර පොතේ ලියාගන්න. 

2. මූලිකත්වය තෝරාගන්න

ඊළඟට තියෙන්නෙ අනික් ඔක්කොම කරුණු කාරණා සලකල බලල මේ ණය ලැයිස්තුවෙන් ඉස්සෙල්ලම ගෙවල ඉවර කරන්න ඕන, ලේසියෙන්ම ගෙවල ඉවර කරන්න පුළුවන් ණය මොනවද? කල් තිබුණට ගැටළුවක් නොවන ණය මොනවද කියල තෝරල බේරලා ගන්න එක. ඔන්න උදාහරණයක් විදිහට මේන්න මෙහෙමයි.

මහා විසාල ණයක් එක පාර ගෙවන්න හිතනවට වඩා පොඩි ණයක් ගෙවල ඉවර කරන එක ලේසී. ඒ නිසා එහෙම පොඩි ණය මුලින් තෝරගන්න පුළුවන්. තව මාස 6ක් 7ක් ඇතුළත ගෙවිලා ඉවර වෙන ණයක් නම් ඒක ගෙවන්නත් හදිසි වෙලා වැඩක් නැහැනෙ. ඔය මාස කීපය ඉක්මනටම යයි. ඒ නිසා ඒ වගේ දේකට priority දීල වැඩක් නැහැ. ඊළඟට පොලිය සලකා බැලුවොත්, උකස් ණය වගේ ඒව අධික පොලී නිසා පුළුවන් තරම් ඉක්මනට බේරුමක් කරගන්න එක තමයි හොඳ.

ඔන්න ඔය විදිහට ඉස්සෙල්ල ගෙවන්න ඕන මොකක්ද කියන එක තෝරගන්න.

3. අනවශ්‍ය වියදම් කපාහරින්න

ඊළඟට තමයි අමාරුම හරිය. එදිනෙදා වියදම් වලින් අනවශ්‍ය වියදම් කල්පනා කරල ඒ ඔක්කොම කපා හරින්න ඕන. ණය බරෙන් ගැලවෙන්න නම්, හරි.. ගැලවෙන්නම  බැහැයි කියමුකෝ.. ඒ උනත් ටිකක් සැහැල්ලුවක් ලබන්න උනත් පටි තදකරගෙන මේ මාස කීපය අදිනවා කියල හිතාගෙන ඔය ඕන නැති වියදම් ටික කපා හරින්න. ඒ එකතු වෙන මුදල කෙලින්ම ණය ගෙවන්න තියාගන්න.

4. වෙනත් විකල්ප සලකා බලන්න 

මේ දවස්වල බැංකු පොලී අනුපාත සෑහෙන්න අඩුයි. ඉතින් කලින් වැඩි පොලියට ගත්ත ණය, වැඩි පොලියට උකස් තියපු රත්තරන් බඩු එහෙම තියෙනවනම් මේ තමයි හොඳම වෙලාව ඒවා අලුත් කරන්න. වැඩි පොලියට ගත්තු ණයක් තියෙනවනම් ඒකෙන් සුළු මුදලක් හරි අඩු පොලියකට ගන්න මුදලකින් ගෙවල දාන්න. එතකොට නොදැනීම ගෙවන්න තියෙන ගාණෙන් කොටසක් අඩුවෙලා. නිකන් බැංකුවට දෙන ගාණක් අතේ ඉතුරු වෙලා.

5. සල්ලි අතට ගන්න එපා

වැඩිපුර කීයක් හරි සල්ලි ලැබුණු වෙලාවක කරන්න පුළුවන් වැඩක් තමයි මේ. දැන් ළඟ එන දෙසැම්බර් සීසන් එකට ආයතන වලින් බෝනස් එහෙමත් දෙනවනේ. ණය ගෙවනවා කියල දැඩි අධිෂ්ඨානයක ඉන්නවනම් පුතෝ ඔය බැංකු පොතට වැටෙන බෝනස් සල්ලි අතටනම් ගන්න එපා. කෙලින්ම බැංකු පොතෙන්ම ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරලා හරි, බැංකුවට කපාගන්න කියල හරි මොනම විදිහකට හරි කමක් නැහැ ලෝන් එක ගෙවන්න යොදවන්න. අතට ගත්තොත් ඉතින් ඊළඟට මොකක් උනාද කියල හිතන්න 2021 අවුරුද්දම මදිවෙයි.

6. ආයෙමත් ණය වෙන්න එපා

මේ කියන්නෙ අර කලින් කිව්ව වගේ ණය ගෙවන්න අඩු පොලියට ණයක් ගන්නව කියන එක නෙමෙයි. ණය ගොඩ තව වැඩි කරගන්න එපා. ඇත්තටම ණය කියන්නෙත් නරක ඇබ්බැහියක්. ණයක් නැතුව ගෙවන ජීවිතේ නිදහස දන්නෙ එහෙම ණය නැති අයම තමයි. හැබැයි ඒ නිදහස නැතිවෙලා කාලයක් තිස්සෙ ණය බරින්ම ජීවත් වෙද්දී, ඔන්න ඔහේ ඕන එකක් කියල ඒ ජීවිතේට පුරුදු වෙන්න පුළුවන්. ඒක හරිම නරක වැඩක්. 

හැම වෙලාවෙම එක ණයක් ගෙවලා නිදහස් වෙලා මිසක් තව ණයක් ගොඩගහගන්නේ නැහැමයි කියන මතයේ ඉන්න. අපි ටොපික් එකේදි කිව්වා වගේ 2021 වෙද්දි ණය මේ ප්‍රමාණයක් මම නිදහස් කරගන්නවා කියන ටාර්ගට් එකේම එල්ලිලා ඉන්න.

7. ඉතුරු කරන්න

ණයත් එක්ක මේකනම් ලේසි නැහැ නෙමෙයි, කරන්නම බැහැ ඉතින්. හැබැයි අපි කලින් කිව්ව වගේ අනවශ්‍ය වියදම් කපාහරින්න පුළුවන්නම් ඒකත් පුළුවන් කියන වැඩ ගොඩට දාගන්න අමාරු නැහැ. අනවශ්‍ය වියදම් කපලා ඉතුරු කරන එකත් ඇබ්බැහියක්. අනාගතේ ලොකු ලොකු හීන හැබෑ කරගන්න නම් නෙමෙයි. ණයෙන් කොටසක් හරි ගෙවාගන්න කියන අරමුණ ඇතුව පොඩිම පොඩි ගානක් හරි ඉතුරු කරන්න. සතෙන් සතේ උනත් ණය ගෙවිලා ඉවර වෙන එකනෙ වෙන්නෙ. ගෙවෙනකොට ලොකුවට නොදැනුනාට ඉවර උනහම තමයි ඒ සැනසීම දැනෙන්නෙ.

إرسال تعليق