ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කියන්නෙ පොඩි අය ගොඩාක් ආස කෑමක්. පොඩි විතරක් නෙවෙයි ඇයි අපි? ඔව් ඉතින් ලොකු පොඩි හැමෝම ආස ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වලින් හදාගන්න පුළුවන් කෑම ටිකක් තමයි මේ ගෙනාවෙ. හදලා රස කරකර කන්නකො එහෙනම්.
1. French Fries Omelet

අවශ්‍ය ද්‍රව්‍ය
- තීරු කපාගත් අල ගෙඩි 3ක් හෝ ෆ්‍රෝසන් ෆ්‍රයිස් කෝප්ප 2ක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- තෙල් ටිකක්
- බිත්තර 2
- සිහින්ව කපාගත් ළූණු ගෙඩියක්
- සිහින්ව කපා ගත් තක්කාලි ගෙඩියක්
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- කෑලි මිරිස් ටිකක්
- අල වලට ලුණු කුඩු ටිකක් දාලා හොඳට කලවම් කරන්න. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා අල තීරු ටික බැදගන්න.
- වෙනම බෝල් එකක් ගෙන ඒකට බිත්තර, සිහින්ව කපා ගත් තක්කාලි, ළූණු, අමුමිරිස්, ගම්මිරිස්කුඩු, ලුණු කුඩු හා කෑලි මිරිස් දාලා මිශ්‍රණය හොඳින් කලවම් කරන්න.
- ඊළඟට පෑන් එකක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා කලින් සදා ගත් බැටර් එක දාගන්න. ඒකට උඩින් බැදගත්ත ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික දා ගන්න. දෙපැත්තම හොඳින් බැදගන්න.
2. Chicken Loaded Fries Recipe

අවශ්‍ය ද්‍රව්‍ය
- බැදගත් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කෝප්ප 3ක්
- පොඩියට කපාගත් චිකන් 250g
- තෙල් ටිකක්
- විනාකිරි මේස හැඳි 2
- බාබකියු මාසාලා මේස හැඳි 1 1/2
- කෑලි මිරිස් මේස හැඳි 1
- කෙචප් කොප්ප 1 /4
- මයොනේස් කොප්ප 1/4
- ග්‍රේට් කරගත් චෙඩාර් චීස් ටිකක්
- සුදුළූණු පේස්ට් මේස හැඳි 1
- ඔරිගානෝ ටිකක්
- බෝල් එකක් අරගෙන ඒකට චිකන්, විනාකිරි, බාබකියු මාසාලා, කෑලි මිරිස් දාලා හොඳින් කලවම් කරන්න. පැයක් විතර මැරිනේට් වෙන්න තියන්න.
- දැන් පෑන් එකකට තෙල් දාලා රත් වෙන්න තියලා සුදුළූණු පේස්ට් එක දාලා කලින් මැරිනෙට් කරගත් චිකන් ටික දාලා ෆ්‍රයි කරගන්න.
- වෙනම බෝල් එකක් අරගෙන ඒකට කෙචප් සහ මයොනේස් දාලා හොඳින් කලවම් කර සෝස් එක හදා ගන්න.
- තවත් බෝල් එකක් අරගෙන ඒකට ෆ්‍රයිස් දාලා ඒකට සෝස් හා බැදගත් චිකන් ලේයර්ස් වගේ දාගන්න. ඒකට උඩින් ග්‍රේට් කරගත් කරගත් චීස් දාගන්න. ඔරිගානෝ ටිකක් ඉහළා සෙල්සියස් 180° ට විනාඩි 10 -12 ක් බේක් කරගන්න.
3. Crispy French Fries with Garlic Butter

අවශ්‍ය ද්‍රව්‍ය
- අල ගෙඩි 4ක්
- ලුණු කුඩු ටිකක්
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- තලාගත් සුදුළූණු මේස හැඳි 2
- ඔයිල් ටිකක්
- බටර් මේස හැඳි 1
- අල තීරු කපාගන්න. අල ටික කූල් වතුර පුරවා ගත් බෝල් එකකට දාලා ටිකක් සෝදන්න.
- වෙනම භාජනයකට අල තීරු ටික දාගෙන ඒකට වතුර ටිකක් දාලා ලිපේ තියන්න. ඒකට ලුණු ටිකක් එක් කරන්න.
- අල තීරු 50%ක් විතර තැම්බුණාම වතුර පෙරලා, පේපර් ටවල් එකක් උඩ තියලා තෙත ගතිය අයින් කරගන්න.
- සිප්ලොක් බෑග් එකකට අල තීරු ටික දා ගන්න. මේකට කෝන්ෆ්ලා දාලා හොඳින් කලවම් කරන්න.
- දැන් පෑන් එකකට තෙල් දාලා රත් වෙන්න තියලා අල තීරු ටික බාගෙට බැදගන්න. එළියට අරගෙන තියලා නැවත වතාවක් බැදගන්න.
- වෙනම පෑන් එකක් අරගෙන ඒකට බටර් දාලා, සුදුළූණු දාලා හොඳින් කලවම් කරන්න. ඒකට කලින් බැදගත් චිප්ස් දාලා කලවම් කරගන්න.
4. Parmesan French Fries

අවශ්‍ය ද්‍රව්‍ය
- අල ගෙඩි 1
- ලුණු කුඩු ටිකක්
- ගම්මිරිස් කුඩු
- ඔයිල්
- ග්‍රේට්කරගත් පාමසාන් චීස් ටිකක්
- ඔරිගානෝ ටිකක්
- ටොමැටෝ කෙචප් ටිකක්
- අල තීරු කපාගන්න. අල ටික කූල් වතුර පුරවා ගත් බෝල් එකකට දාලා ටිකක් සෝදන්න.
- වෙනම භාජනයකට අල තීරු ටික දාගෙන ඒකට වතුර ටිකක් දාලා ලිපේ තියන්න. ඒකට ලුණු ටිකක් එක් කරන්න.
- අල තීරු 50%ක් විතර තැම්බුණාම වතුර පෙරලා පේපර් ටවල් එකක් උඩ තියලා තෙත ගතිය අයින් කරගන්න.
- දැන් බේකින් ට්‍රේ එකකට අල තීරු ටික දාලා උඩින් ලුණු, ගම්මිරිස්කුඩු හා ඔරිගානෝ ඉහගන්න. ඊළඟට පාමසාන් චීස් දාලා ඊට උඩින් කෙචප් ටිකක් දාලා සෙල්සියස් 180°ට විනාඩි 15ක් බේක් කරගන්න.
5. Masala Fries

අවශ්‍ය ද්‍රව්‍ය
- බැදගත් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්
- ඔලිව් ඔයිල් මේස හැඳි 3
- බටර් මේස හැඳි 1
- ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
- සිහින්ව කපාගත් ළූණු ගෙඩි 1 /2
- මිරිස් කුඩු තේ හැඳි 1
- සූදුරු තේ හැඳි 1
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- ලුණු කුඩු ටිකක්
- දෙහි යුෂ ටිකක්
- චොප් කරගත් තක්කාලි 100g
- යෝගට් මේස හැන්දක් (කැමති නම් පමණක්)
- පෑන් එකක් අරගෙන ඒකට ඔලිව් ඔයිල් හා බටර් දාගන්න. ටිකකින් ඉඟුරු සුදුළූණු පේස්ට් සහ සිහින්ව කපාගත් ළූණු දාලා හොඳින් ෆ්‍රයි කරන්න.
- ඒකට මිරිස් කුඩු, සූදුරු, කොත්තමල්ලි කුඩු, ලුණු කුඩු, දෙහි යුෂ දාලා හොඳින් කලවම් කරන්න. මේකටම චොප් කරගත් තක්කාලි ටිකත් එක් කරන්න. නැවත හොඳින් කලවම් කරන්න.
- දැන් ඒකට බැදගත් ෆ්‍රයිස් එකතු කරලා මසාලා පේස්ට් එකේ තැවරෙන විදියට හොඳින් කලවම් කරගන්න. කැමති නම් යෝගට් මේස හැන්දක් එක් කරගන්න.
6. French Fries Sandwich

අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෝසන් ෆ්‍රයිස් කෝප්ප 3ක්
- පාන්පෙති කිහිපයක්
- ග්‍රේට් කරගත් චෙඩාර් චීස් ටිකක්
- පෙති කපාගත් ළූණු ගෙඩි 2
- පෙති කපාගත් තක්කාලි ගෙඩි 2
- චාට් මසාලා තේ හැඳි 1/2
- කෑලි මිරිස් ටිකක්
- මයොනේස් මේස හැඳි 1
- තක්කාලි සෝස් මේස හැඳි 2
- අල ගෙඩි හොඳින් සෝදා තීරු කපාගන්න. පාන් පෙත්තක් අරන් ඒ උඩට ග්‍රේට් කරගත් චීස් දාගන්න. ඒකට උඩින් චාට් මසාලා, කෑලි මිරිස් දාලා චීස් මෙල්ට් වෙනකල් ටික වේලාවක් සෙල්සියස් 180°ට බේක් කරගන්න.
- ඒ අතරතුර ෆ්‍රයිස් ටික ගැඹුරු තෙලේ බැදගන්න. බේක් කරගත් පාන් පෙති වලට චිප්ස් දා ගන්න. ඊට උඩින් තක්කාලි හා ළූණු පෙති දාලා අන්තිමට මයෝනේස් හා තක්කාලි සෝස් දාලා තව පෙත්තකින් වසාගන්න.
7. Egg Battered French Fries

අවශ්‍ය ද්‍රව්‍ය
- තීරු කපාගත් අල ගෙඩි 4
- බිත්තර 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කෝන්ෆ්ලා මේස හැඳි 1
- වතුර මේස හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 1
- කෙචප් තේ හැඳි 2
- අල ටික තීරු කපලා වතුර දාලා සෝදගන්න. දැන් මේ ටික සර්වියට් එකකින් පිහදාගන්න.
- වෙනම බෝල් එකකට අනික් සියල්ලම දාලා හොඳට විස්ක් කරගන්න.
- දැන් අල තීරු ටික මේකට දාලා කෝට් කරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.