ඇයි රැකියාවක් කරනවට වඩා තමන්ගෙම බිස්නස් එකක් Try කරන්න ඕන.

ඔයාගෙ නිදහස ඔයාට තියෙනව.

ඔන්න මේක තමයි පළවෙනිම සහ ලොකුම වාසිය. නිදහසට කවුද ඉතින් අකමැති. ව්‍යාපාර කරන්න තෝරගන්න හුඟක් දෙනෙක් ඒ තෝරාගැනීමට හේතුව විදිහට පෙන්නන ලොකුම දේ තමයි මේ නිදහස කියන්නෙ. තව කෙනෙක් යටතේ ඔවුන්ට ඕන විදිහට වැඩ නොකර තමන්ගේ ක්‍රමයට, තමන්ට ඕන වැඩේ කරනකොට දැනෙන හිතේ නිදහස තමයි මෙන්න මෙතන නිදහස කියල අදහස් කරන්නෙ. ඒ වගේම තමන්ගේ පෞද්ගලික කාරණා වලට නිවාඩු ගන්න එහෙම බොසාට වඳින්න යන්න ඕන නැහැනෙ තමන්ගෙම කියල බිස්නස් එකක් කරනකොට. 

වැඩ වැඩිවෙන තරමට වාසි වැඩියි.


ඊලඟට ලොකුම වාසිය තමයි වැඩ කරන තරමට ලබාගන්න පුළුවන් ප්‍රතිඵලය ඉහළ වීම. තව කෙනෙක් යටතේ රස්සාවක් කරනකොට අපි කොයිතරම් මහන්සි වෙලා වැඩකළත් ඒ කරන වැඩ ප්‍රමාණයට නිසි ඇගැයීමක් නොලැබෙන එක නිතරම දකින්න තියෙන කාරණාවක්. අපේ මහන්සියේ ප්‍රතිඵල ලැබෙන්නෙ වෙන කාටවත්. ඔන්න ඒ ගැටළුව නැහැ තමන්ගෙම බිස්නස් එකක් කරනකොට. නිදිමරාගෙන, නොකා නොබී මහන්සිවෙලා වැඩකළත් පාඩු නැහැ. ලැබෙන තරමක් ප්‍රතිඵල තමන්ටම තමයි අවසානයේ ලැබෙන්නෙ. වැඩිපුර මහන්සි වෙන තරමට ප්‍රතිඵලත් වැඩියි. 

ඉලක්ක වලට ගමන.


රැකියාවක් කරනකොට ජීවිතේ ඉලක්ක වලට සෘජුවම ගමන් කරන්න ටිකක් අමාරුයි. මොකද අපි එක ඉලක්කයක් තියාගෙන කොච්චර මහන්සි උනත් ආයතනය කැමති ප්‍රමාණයට තමයි පඩි නඩි. ඒත් තමන්ගෙම ව්‍යාපාරයක් කරනකොට ජීවිතේ ඉලක්ක ඒ කිව්වෙ ලස්සන ගෙයක් දොරක්, වාහනයක් වගේ හීන ඒ ඒ කාලෙට හිතේ තියාගෙන ඒ වෙනුවෙන්ම මහන්සි වෙලා ඒ හීන හැබෑ කරගන්න පුළුවන්. 

ආත්ම තෘප්තිය හොදටම තියෙනව.


රැකියාවක් කරලා, පොඩි පඩියක් අරගෙන, ආයතනය දියුණු වෙන දිහා බලලා ලැබෙනවට වඩා දහස් ගුණයකින් වැඩි ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් තමන්ගේම කියල ව්‍යාපාරයක් බින්දුවේ ඉඳලා පටන් අරගෙන දවසෙන් දවස ටිකෙන් ටික දියුණු වෙන දිහා බලලා. කවදාහරි අවසාන ප්‍රතිඵලයත් ඉතුරු වෙන්නෙ තමන්ගෙ අතේ බව මුල ඉඳලම දන්නවනේ. රැකියාවක් කළා වගේ අන්තිමේ අත පිහදාගෙන ගෙදර එන්න වෙන්නෙ නැහැ. මේ දේ මුල ඉඳලා ගොඩනැගුවේ මමයි කියල මැරෙන මොහොතෙදි උණත් සතුටු වෙන්න පුළුවන්.

මයි කාර් මයි පැට්‍රල් තමයි.


තවත් ලොකුම ලොකු වාසියක් තමයි ලොක්කෝ සහ සොක්කෝ නැතිකම. තමන්ගේ බොස් තමන්ම තමයි. වැරැද්දක් උනත් බනින්න කෙනෙක් නැහැ. හැබැයි ඉතින් වැරැද්ද නිසා ඇතිවෙන ප්‍රතිඵලය භුක්ති විඳින්න වෙන්නෙත් තමන්ටමයි. ඒ කොහොම උනත් මහන්සිවෙලා වැඩත් කරලා පොඩි පොඩි දේවල් වලට කොහේවත් ඉන්න බොසෙක්ගෙන් බැනුම් අහන්න නොවෙන එකම කොච්චර දෙයක්ද. My Car, My Petrol වගේ සරල කතන්දරයක් තමයි තියෙන්නෙ.

බොස්ල නැහැ වගේම තමා ඇක්ටින් බොස්ලත් නැහැ. ඒ කිව්වෙ ඔය බොස් පාර්ට් දාගෙන එන හැබැයි ඇත්තටම බොස්ලා නොවන අය, බොස්ලට ගොටු අල්ලන අය වගේ රැකියා ජීවිතේ එපා කරන අය මුණගැහෙන්නෙ නැහැ තමන්ගෙම කියල ව්‍යාපාරයක් කරගෙන ඉන්න කෙනෙකුට. 

ලොකු ලොකු සුදුසුකම් ඕන නැහැ.

හුඟ දෙනෙක් ව්‍යාපාර කරන්න තෝරගන්නත් මේක ලොකු හේතුවක්. අද කාලෙ රැකියා වෙළඳපලේ තියෙන්නෙ පුදුමාකාර තරඟයක්. ඒ නිසා හරිහමන් රැකියාවක් හොයාගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසාම දැන් හුඟක් තරුණ තරුණියො ව්‍යාපාර වලට යොමුවෙනවා දකින්න පුළුවන්. ඇත්තටම නොලැබෙන රැකියා පස්සෙ පන්න පන්න ඉන්න වෙලාවේ බිස්නස් එකකට අතගහන එක හොඳ මොලේ ඇති වැඩක්. හැබැයි පටන් ගන්න සුදුසුකම් ඕන නැති උණාට කාලයක් ගිහිල්ලා බිස්නස් එක යම් මට්ටමකට දියුණු උණාට පස්සෙනම් අධ්‍යාපන, වෘත්තීය සුදුසුකම් එහෙම හදාගෙන තියෙන එක වටිනවා හිමිකරුට වගේම බිස්නස් එකේ කීර්තිනාමයටත්. 


සැනසීමෙන් විශ්‍රාම දිවියට.

තරුණ කාලෙදිම තමන්ගේම කියල ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක දියුණු කරගන්න එකේ තියෙන තවත් එක ලොකුම වාසියක් තමයි මේක. බිස්නස් එකක් යම් මට්ටමකට ගොඩ දාගත්තා කියල කියන්නෙ විශ්‍රාම දිවිය ගැන හිතේ තියෙන බර එහෙම පිටින්ම බිමින් තිබ්බ වගේ වැඩක්. මොකද විශ්‍රාම වැටුපක් ලැබෙන රජයේ රැකියාවක් නෙමෙයිනම් විශ්‍රාම දිවිය සැලසුම් කරන්න වෙනම මහන්සියක් වෙන්න ඕන. වයසට ගිහිල්ලා වැඩ කරගන්න බැරි කාලෙට ආයතන වලින් පඩි ගෙවන්නෙ නැහැනෙ. හැබැයි ව්‍යාපාරයක් කියල කියන්නෙ හරියට දියුණු මට්ටමක තිබුණොතින් අපි වැඩ කරන්න බැරි වයසක හිටියත් ආදායම අතට එන වැඩක්. ඒ නිසා ඒ වෙනුවෙන් තරුණ කාලෙ වෙන මහන්සියේ කිසිම පාඩුවක්නම් නැහැ. 

Post a Comment