
කවුද මේ වයිකිංවරු ? [ Who are these Vikings? ]
වයිකිංවරුන්ව 'නෝර්ස් මිනිස්සු' ලෙසින්ද හඳුන්වනු ලබයි.ඔවුන් බොහෝම නිර්භීත මුහුදු සංචාරකයින් පිරිසකි.ඒ නිසාම මොවුන් මුහුදු මංකොල්ලකරුවන් ලෙසින් ද ප්‍රසිද්ධියට පත්විය.මුහුදු මාර්ගවල ගමන් ගන්නා නෞකා බොහෝමයක්ම කොල්ල කෑවේ වයිකිංවරුයි.ඔවුන් මුහුදු මංකොල්ලකරුවන් ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ ඒ හේතුවෙනි.නමුත් මීට අමතරව මොවුන් කෘෂිකර්මයේද නියැළුණි.වෙළෙඳුන් හා අත්කම් ශිල්පීන් ලෙසද කටයුතු කරනු ලැබූ පිරිස්ද ඔවුන් අතර විය.මුහුදු සංචාරයට බෙහෙවින්ම ලොල්වූ පිරිසක් නිසාම මොවුන්ට යුරෝපය මෙන්ම උතුරු අත්ලන්තික් සාගරය දක්වාම තම යාත්‍රා දියත් කරන්නට හැකියාව ලැබුණි.ඇතැමුන් මේ තරම් දුර යාත්‍රා කරනු ලැබුවේ නෞකා කොල්ලකෑමේ අදහසිනි.නමුත් ඇතැම් අය වගාවට සුදුසු භූමි ඇති රටවල් සොයා සමුදුරු චාරිකාවේ නියැළුණහ.8 වැනි ශත වර්ෂයේ ආරම්භ වුණු වයිකිං යුගය වසර 300 ක් පුරාවට පැවතුණි.
වයිකිංවරු එංගලන්තයට පැමිණියේ ඇයි ? [ Why the Vikings came to England]
වර්ෂ 793 දී වයිකිං කොල්ලකරුවන් උතුරු මුහුද තරණය කරමින් ඊසානදිග එංගලන්තයේ ලින්ඩිස්ෆානේ හි පිහිටි ක්‍රිස්තියානි මිෂනාරියට කඩා වැදුණේ එහි තිබෙන වස්තුව කොල්ලකෑමේ අදහසිනි.බලාපොරොත්තු නොවුනු මේ සිදුවීමෙන් එහි සිටි මිෂනාරි පූජකයන් දැඩි ලෙස බියට පත්වුණි.කඩු,දුනු,ඊතල,පොරෝ වයිකිංවරුන්ගේ ආයුධ වූ අතර සතුරන්ගේ ප්‍රහාර වලින් ආරක්ෂා වීමට ඔවුන් දැවමය පලිහක් භාවිතා කළහ.
ක්‍රි.ව. 865 දී ඩෙන්මාර්ක වයිකිං හමුදාවක් එංගලන්තය ආක්‍රමණය කළහ.මෙම සටන වසර ගණනාවක් පුරාවට පැවතුණි.මෙම සටන්වල අවසන් ප්‍රතිඵලය වූයේ උතුරු මධ්‍යම සහ ඊසානදිග එංගලන්තයේ භූමි ප්‍රදේශ වයිකිංවරු අතට පත්වීමයි.මෙම ප්‍රදේශය ඉන් අනතුරුව හැඳින්වූයේ 'ද ඩේන්ලෝ' යන නමිනි.
මේ කාලයේදී ම වගේ නෝර්වේ හි සිටි වයිකිංවරු පිරිසක්ද උතුරු සහ බටහිර ස්කොට්ලන්තයට යාත්‍රාකර එහි භූමි ප්‍රදේශද අත්පත් කරගන්නා ලදී.වේල්සයේ ඇතැම් ප්‍රදේශවලත් වයිකිංවරු වාසස්ථාන ඉදිකර ගත්තේ ඒ අනුවයි.
නෝර්ස් ප්‍රවාද
වයිකිංවරු එහෙමත් නැතිනම් නෝර්ස්වරුන් එංගලන්තයට පැමිණීමට පෙර ඔවුන්ටම ආවේණික වූ ආගමක් පැවතුණි.විවිධ දෙවිවරුන් වන්දනාමාන කිරීම මොවුන් අතර ප්‍රචලිතව තිබුණි.මෙම දෙවිවරුන් සම්බන්ධව ඇති ප්‍රවාද හඳුන්වන්නේ නෝර්ස් ප්‍රවාද යන නමිනි.එංගලන්තයට පැමිණීමෙන් අනතුරුව වයිකිංවරු බොහෝමයක් ක්‍රිස්තියානි භක්තිකයන් බවට පත්විය.
නෝර්ස් දෙවි දේවතාවන්.
ඔඩින්
සියලු දෙවිවරුන්ගේ ප්‍රධානියා එහෙමන් නැතිනම් පාලකයා වන්නේ මොහුයි.යුද්ධයටත්,කවියටත්,මැජික්වලටත් අධිපති වන්නේ ඔඩින් දෙවියායි.තමන්ට නුවණ ලබාගැනීමේ අරමුණින් ඔඩින් දෙවියා තම එක් ඇසක් නුවණ සමඟ හුවමාරු කරගෙන තිබේ.ඒ නිසා මොහු එකැස් දෙවියා යන නමින්ද හඳුන්වයි.
තෝර්
ඉතා ජනප්‍රිය වන්නේ තෝර් දෙවියායි.අහස මෙන්ම කුණාටු පාලක දෙවියාද වේ.සාමාන්‍ය වැසියන් ආරක්ෂා කරන්නේ තෝර් දෙවියායි.යකඩ අත්වැස්මක් හා ඉන්ද්‍රජාලික බඳ පටියක් ඇති තෝර් දෙවියාගේ ආයුධය වන්නේ මිටියකි.
ලොකි
දුෂ්ට මෙන්ම භයානක උපක්‍රම භාවිතා කරන දෙවියෙකි.
ෆෙයිජා
ආදරය,අලංකාරය මෙන්ම සශ්‍රීකත්වයට අධිපති දෙවඟනයි.රූපශ්‍රීයෙන් අගතැන්පත් ෆෙයිජා දෙවඟන කඳුළු හෙළන විට වැටෙන්නේ රත්රන් සහ දුම්මල වන බව වයිකිංවරුන්ගේ මතයයි.
නීතිය හා සාමය ආරක්ෂා කළ හැටි ?

වයිකිං රටවල් බොහොමයක්ම පාහේ පාලනය කරන ලද්දේ රජවරුන් විසිනි.රජවරුන්ට අමතරව අර්ල්වරුන්ටත්,ගෝත්‍රික නායකයින්ටත් මෙම සමාජය තුළ විශේෂ බලයක් හිමිවී පැවතුණි.ඇතැමුන්ට ඔවුනටම කියා හමුදාවක්ද,යුධ නෞකාද හිමි වී තිබුණු බවට සඳහන් වේ.ගොවියන් සහ අත්කම් ශිල්පීන් බොහෝ දෙනෙක් ස්වාධීන පුද්ගලයන් ලෙස කටයුතු කළහ.මීට අමතරව වහලුන් රැසක්ද වයිකිං සමාජය තුළ ජීවත් විය.
වයිකිං සමාජයේ නීතිය හා සාමය කඩකිරීම් පිළිබඳව කතාබහ කිරීමට විශේෂිත දිනයක් තිබුණි.එළිමහන් ස්ථානයකට සියලු දෙනාම එක් රැස් වී එම සාකච්ඡා පැවැත්වුණ අතර අපරාධකරුවන්ට දෙනු ලබන දඬුවම් තීරණය කරනු ලැබුවේද මෙහිදීයි.මෙහිදී ප්‍රකාශ වන නව නීතිරීති වැඩිහිටියන් දරුවන්ට කියාදුන් අතර ඒවා කටවහරෙන් ඉදිරියට පවත්වාගෙන යන ලදී.
වයිකිංවරුන්ගේ නිවාස [ Houses of the Vikings ]
මොවුන්ගෙන් බොහෝ දෙනෙක් නිවාස සකසා ගත්තේ ගොවිපළවල් ආශ්‍රිතව යි.දැව,ගල් හෝ මැටි මේ සඳහා උපයෝගී කරගත් හ.බ්‍රිතාන්‍ය වයිකිංවරුන්ගේ වැදගත්ම මෙන්ම ප්‍රධානම නගරය ලෙස හැඳින්වූයේ 'ජෝර්වික්' යන නමිනි.මෙම නගරයේ වීදි ඉතා පටු වූ නිසා වැසියන් ගමන් ගත්තේ ඉතාමත් අසීරුවෙන් බව සඳහන් වේ.
නිවෙස තුළ ආහාර පිසෙන විට උඳුනෙන් දුම් පිටවීම සඳහා නිවෙසේ වහලය මුදුනේ සිදුරක් සාදා තිබුණි.ඒ නිසා මෙම නිවාස දුමෙන් පිරුණු අඳුරු ස්වභාවයක් ගත්තේය.මෙම නිවාස බොහොමයක එක් කාමරයක් පමණක් පිහිටා තිබුණි.නමුත් පොහොසතුන්ගේ නිවාස තරමක් විශාලත්වයෙන් යුක්ත විය.කුඩා ප්‍රමාණයේ ඇතුළු වීමේ ශාලවක්,විශාල මෙන්ම ප්‍රධාන කාමරයක්,මුළුතැන්ගෙයක්,නිදන කාමරයක් සහ ගබඩා කාමරයක්ද මෙම නිවාසවල දක්නට ලැබුණි.
වයිකිං කෑම බීම [ Viking food and drink ]
ධාන්‍ය වර්ග මෙන්ම මස් මාංශත් ඔවුන්ගේ ආහාර වේලේ ප්‍රධාන තැනක් ගත් හ.විශාල මැටි බඳුන්වල බහා මස් පිසගත් අතර ඇතැම් විට යකඩ කූරුවල අමුණා මස් පුළුස්සා ඒවා ආහාරයට ගන්නටත් මොවුන් පුරුදු වී සිටියහ.වයිකිංවරු පාන් සකසා ගත්තේ රයි හෝ බාර්ලි පිටි වලිනි.චීස් හා බටර් නිෂ්පාදනයට කිරි ප්‍රයෝජනයට ගත් මොවුන් ඉතිරිවන බටර්මිල්ක් නම් වූ මිශ්‍රණය රසවත් පානයක් ලෙස බීමට භාවිතා කළේය.
වයිකිං කාන්‍තාවන්,පිරිමින් හා දරුවන් [ Viking women, men and children ]

සෑම වයිකිංවරයෙක්ම වාගේ බොහෝ මහන්සි වී වැඩ කළහ.විශේෂයෙන්ම පුරුෂයන් ගොවිපළවල සේවය කළ අතර ඇතැමුන් වෙළෙන්දන් ලෙසද,අත්කම් ශිල්පීන් ලෙසද තම ජීවිකාව ගෙන ගියහ.
නිවෙසේ සියලු කටයුතු සිද්ධ වූයේ කාන්තාවන්ගේ අතිනි.මීට අමතරව ගොවිපළ වල වැඩකටයුතු වලටද ඔවුන් සහය විය.එළදෙනුන්ගෙන් කිරි දොවා ගැනීම,චීස් නිෂ්පාදනය ආදියද කාන්තාවන් අතින් සිදුවිය.නිවෙසේ සාමාජිකයන්ගේ ඇඳුම් පැළඳුම් මැසුවේද කාන්තාවයි.
වයිකිං දරුවන් එදිනෙදා වැඩකටයුතු වලදී තම වැඩිහිටියන්ට සහාය ලබා දුන් හ.ඉතිහාසය,ආගම සහ නීතිය ඉගෙනගත්තේ ඔවුන්ගේ දෙමාපියන්ගෙනි.
වයිකිංවරුන්ගේ වෙළෙඳාම [ Trade of the Vikings ]
මොවුන් වෙළෙඳාමට ශූර පිරිසකි.යුරෝපය පුරාමත් ඈත පෙරදිග සහ මධ්‍යම ආසියාවේත් වෙළෙඳාමෙ නිරත විය.රිදී,සේද,කුළුබඩු සහ ආභරණ ආදිය මොවුන් මිලට ගත් භාණ්ඩ අතර ප්‍රමුඛ විය.පැණි,ටින් ලෝහය,පිටි,ලොම්,දැව සහ යකඩ ඔවුන් විකුණූ ද්‍රව්‍යය යි.මීට අමතරව වයිකිංවරු වහල් වෙළඳාමේද නිරත විය.මිලදී ගන්නා භාණ්ඩ වෙනුවෙන් ගෙවීම් කරනු ලැබුවේ රිදී කාසිවලිනි.නොඑසේනම් රිදී කැබැල්ලක් හෝ ආභරණද මේ සඳහා යොදා ගත් හ.රිදී වල වටිනාකම තීරණය කරනු ලැබුවේ බර අනුවයි.ඒ නිසා වෙළෙඳුන් තමන් යන සෑම තැනකටම වාගේ බර කිරන උපකරණද රැගෙන ගියහ.
රටවල් සොයා යෑම

වයිකිංවරු නිරන්තරයෙන්ම වාගේ මුහුදු ගමන් වල නිරත වූයේ තමන්ට ජීවත් වීමට සුදුසු භූමි ප්‍රදේශ සොයා ගැනීමේ අදහසිනි.ඔවුන් ජීවත් වූ ප්‍රදේශ වගා කටයුතුවලට ඒ තරම්ම යෝග්‍ය වූයේ නැත.එම නිසා වගාවට යෝග්‍ය භූමි සොයාගනිමින් ඔවුන් රට රටවල සංචාරය කළේය.එවැනි සුදුසු ප්‍රදේශ තමන් අතට ගන්නට වයිකිංවරු පසුබට වූයේ නැත.අයිස්ලන්තය,ග්‍රීන්ලන්තය,එංගලන්තය වැනි රටවල වයිකිංවරු තම බලය ව්‍යාප්ත කළේ මෙම ආක්‍රමණ වල ප්‍රතිඵලයක් ලෙසයි.
වයිකිංවරයෙකු වන ජාර්නි හර්ජොල්ෆ්සොන් නමැත්තාට ක්‍රි.ව.985 දී අහම්බයෙන් වාගේ ඇමෙරිකාව සොයාගන්නට හැකිවිය.ඉන් අනතුරුව ක්‍රි.ව. 1001 දී ලීෆ් එරිෆ්සන් නැවතත් ඇමෙරිකාවට ගොඩ බැස්සේය.ඇමෙරිකාවට ගොඩ බට පළමු යුරෝපීය ජාතිකයා වන්නේද ඔහුයි.වයිකිංවරු ඇමෙරිකාව සොයාගත් පසු ඔවුන් එම අලුත් රට හැඳින්වූයේ 'මිදිබිම' (Vineland) යන නමිනි.මෙහි මිදි ගස් වැවී තිබෙනු දක්නට ලැබුණු හෙයින් වයිකිංවරු එසේ ඇමෙරිකාව හැඳින්වූහ.
වයිකිං යුගයේ අවසානය [ The end of the Viking ]

වයිකිං යුගය පුරාවටම විවිධ අරගල,ගැටුම් ආදිය දක්නට විය.විශේෂයෙන්ම ඉංග්‍රීසීන් සමඟ මොවුන් නිරන්තරයෙන්ම ආරවුල් ඇතිකර ගත් හ.9 වැනි ශත වර්ෂයේදී එංගලන්තය පාලනය කළ මහා ඇල්ෆ්‍රඩ් රජු බටහිර එංගලන්තයෙන් වයිකිංවරුන්ට පිටව යන ලෙස දැනුම් දුන්හ.10 වැනි ශතවර්ෂයේදී වයිකිංවරු පදිංචිව සිටි එංගලන්තයේ ප්‍රදේශ රැසක්ම නැවතත් තමන් අතට ගන්නට ඉංග්‍රීසීන්ට හැකියාව ලැබුණි.නමුත් 11 වන ශතවර්ෂයේ මුළු එංගලන්තයම පාහේ පාලනය කළේ නුට් නමැති වයිකිං රජුයි.
නෝර්මැන්ඩියේ ඩියුක්වරයා වූ විලියම් 1066 දී එංගලන්තයේ බලය සියතට ගත්තේය.වයිකිං යුගය නිමාවට පත්වූයේ ඉන් අනතුරුවයි.ස්කොට්ලන්තයේ සිටි බලසම්පන්න වයිකිං අර්ල්වරුන් වසර සියයක් පමණ කාලයක් එහි පාලන කටයුතු කරගෙන ගියහ.උතුරු දූපත් සමූහයේ වයිකිංවරු ද තවත් වසර 300 ක් පමණ එහි පාලන කටයුතු ගෙන ගිය බව සඳහන් වේ.
උපුටාගැනීමකි.
